Monday 2nd of February 2026

English Tamil
Advertiesment


බෙල්ල මිරිකා මව ඝාතනය කළ අජාසත්ත රිමාන්ඩ්


2017-11-22 14330

(ජයකාන්ත ලියනගේ)

 

සිය සහෝදරියන්ට පමණක් සලකන්නේ යැයි මව සමග රණ්ඩු වී බෙල්ල මිරිකා මව ඝාතනය කළේ යැයි මීටියාගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරු 2017 නොවැම්බර් මස 30 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය මහේස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනවිය  නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ මැටිවල, මීටියාගොඩ ලිපිනයේ පදිංචි පිටිගල ලියනගේ පැරකුම් පෙරේරා (39) නැමැති අයයි. එම ලිපිනයේම පදිංචි අබේවික‍්‍රම සීලවතී (78) නැමැති සැකකරුගේ මවගේ මරණය සම්බන්ධයෙන් මොහු අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු, සිය මවට අයත් ඉඩම් සම්බන්ධයෙන් නිතර නිතර මව සමග ගැටුම් ඇති කරගෙන තිබේ අතර  මවට අයත් කුරුඳු අක්කර 1/2 ක මුදල් තමන්ට අඩුවෙන් ලබා දුන්නා යැයි සැකකරු මව සමග ගැටුමක් ඇති කර ගෙන තිබේ. එහිදී උඹ දුවලට පමණයි සලකන්නේ යැයි පවසා සැකකරු සිය මවගේ බෙල්ල මිරිකා තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. එම අවස්ථාවේදී මියගිය අය සිහිසුන්ව ඇද වැටී ඇති අතර එය දුටු සැකකරුගේ සහෝදරිය සිය මව බළපිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබේ. එයින් පසුව ඇය මියගොස් තිබේ.

මියගිය අය සම්බන්ධයෙන් වූ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය බළපිටිය වැඩ බලන මහේස්ත‍්‍රාත් ඉසෙඞ් පී එම් ලියාකාත් මහතා විසින් පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පවත්වා ඇත.මීටියාගොඩ පොලීසියේ ස්ථානාධිපති මංජුල තුෂාර මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්‍ෂක සනත් මෙන්ඩිස් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

 
Advertiesment